Saturday, March 31, 2012

මෙහෙමත් ගොයියලා...

මම මේ බ්ලොග් එක පටන්ගත්තේ මගේ ඔලුවට එන පිස්සු කතා අනිත් අයට පෙන්නන්නමත් නෙමෙයි. මට හිතෙන ඒවා කොහේ හරි කමක් නැහැ ලියලා තියන්නත් එක්කයි. ඉතින් මේ සටහන වැඩියක්ම තියන්නේ ඔය දෙවනියට කියපු අරමුණෙන්.
ඊයේ මගේ ඔෆිස් එකේ අපිත් එක්ක එකට වැඩ කරපු යෙහෙලියක් අස් වෙලා ගියා. තව ජොබ් එකක් හොයාගන්නෙත් නැතුව තමයි අයින් උනේ. එහෙම එක පාරටම අස් වෙලා යන්න හේතුව උනේ මොකක්ද? එයානම් කිව්වේ ගෙදරට වෙලා අම්මව බලාගෙන ඉන්න ඕනා, ඒ අතරේ teaching (ගුරු වෘතිය) වගේ රැකියාවක් ලැබුනොත් යනවා නිවාඩු තියෙන නිසා කියලා. එත් ඇත්තම හේතුව ඒකද? අපි ඔක්කොම දන්නවා ඇත්තම හේතුව එක නෙමෙයි කියලා. ඇත්තම හේතුව පොඩි පොඩි හේතු ගොඩක් එකතු වෙලා හැදිච්ච සංකීර්ණ එකක්. එත් අපිට මතුපිටින් පේන කරුණු අරගෙන සරලව මෙහෙම කියන්න පුළුවන්.
අපේ ඔෆිස් එකේ ව්‍යූහය හැදිලා තියෙන විදියට අයිතිකාරයෝ මෙතනට කෙලින් ඇඟිලි ගහන්නේ නැහැ. අපේ මැනේජින් ඩිරෙක්ටර් (MD) තමයි ඉහලට කරුණු දක්වන්නේ. එයාට පහලින් ඉන්නවා ජෙනරාල් මැනේජර් (GM) කෙනෙක්. මෙන්නේ මේ GM හාදයාගේ බුද්ධිමත් භාවය, උතුංග දේහධාරී දැනුම, සහ පරිකල්පන මෙව්වා එක ගැන කියලා වැඩක් නැහැ. කොටින්ම කිව්වොත් මෙයා ගොන් රජෙක්. මෙයා ගැන විස්තරාත්මක පොස්ට් එකක් පස්සේ දාන්නම්. මේ GM හාදයා තමයි අර අයින් උන ළමයව වැඩට ගත්තේ. එයා බලාපොරොත්තු උනා එයාගේ කේලාම් බලකාය මේ ළමයාට කියලා තවත් ශක්තිමත් කරගන්න. එත් එක කරගන්න බැරි උනා. ඒ ළමයා වැදගත් ගැහැණු ළමයෙක් වගේ තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන ගියා. අන්න එතකොට ඒ ළමයව කැපෙන්න ගත්තා. ඒ වගේම ඔය GMට ගොට්ට අල්ලන HR මැනේජර් වරියට වඩා අර ළමයාගේ අධ්‍යාපන සුදුසුකම් වැඩියි. ඒ නිසා ඒ පැත්තෙනුත් කැපිල්ල ආවා. ඒ සුදුසුකම් තිබිලත් අපේ යෙහෙළියට දීලා තිබුනේ පහල මට්ටමේ designation (රැකියා නාමය) එකක්. ඒ ළමයාගෙන් හොඳට වැඩ ගත්තා. කිසිම හේතුවක් නැතුව රෑ වෙනකන් ගෙදර යන්න දුන්නේ නැහැ. එක පාරක් අපි මැනේජ්මන්ට් එකට නොකියා නිවාඩු දවසක ට්‍රිප් එකක් ගියා. (එහෙම නොකියා ගියේ කියන්න ගියානම් ඕකටත් බකට් එකක් පෙරලනවා) එකටත් ඒ ළමයව අල්ලාගෙන පලු යන්න බැන්නා. ඔන්න ඕවා නිසා කලකිරුන අපේ යෙහෙළිය ඊයේ අපේ ආයතනයෙන් අයින් උනා. එයාට මොනවාහරි අරන් දෙන්න සල්ලි එකතු කරන්න අපේ තවත් යෙහෙලියක් GM ගාවටයි HR මැනේජර් වරිය ගාවටයි ගියා. දෙන්නාගේම උත්තරේ උනේ "ඔය එක එකාට දෙන්න අපේ ගාව සල්ලි නැහැ" කියන එකයි. අපි අපිට පුළුවන් විදියට සල්ලි එකතු කරලා සුළු තෑග්ගක් අරන් දුන්නා.
මගේ ප්‍රශ්න මෙන්න මේවා. මොන තරහා තිබ්බත් මනුස්සයෙක්ට ඔච්චර කුරිරු වෙන්න පුලුවන්ද? උසස් තනතුරු දරන අය විදියට ඔච්චර පහත මට්ටමකට වැටෙන්න පුලුවන්ද?
හැබැයි මෙයාලා කරන අනිත් වැඩ දිහා බැලුවම කෙනෙක්ට හිතෙයි මේ හිඟන්නොද කියලා. (හිඟන්නන්ට අපහාසයක් කරන්න නෙමෙයි එහෙම කිව්වේ) චූටි දරුවෙක්ටත් මෝඩ වැඩ කියලා තේරෙන දේවල් මෙයාලා ලොකුවට උඩ දාගෙන කරද්දී ටොප් මැනේජ්මන්ට් (Top Management ) එක සද්ද නැතුව ඉන්නේ ඇයි? කව්රු හරි ගාව මේවට උත්තර තියෙනවද?
සල්ලි මිටි ගණන් යටි මඩි ගහන හැටි, අවංකව වැඩ කරන අයව පීඩාවට පත් කරන හැටි, බත් ඇටේ ඉඳන් orange juice එක දක්වා අයුතු ලෙස බුක්ති විඳින හැටි දැකලා දැකලා අපිට දැන් අප්පිරියා වෙලා ඉන්නේ. 
මේවායෙන් ගැලවෙන්න ක්‍රමයක්, අපිට අපේ පාඩුවේ වැඩ කරගෙන ඉන්න පුළුවන් ක්‍රමයක් කව්රුහරි දන්නවද?

අන්තිමට
අපේ යෙහෙළියට කියන්න තියෙන්නේ ඉස්සරහටත් කරන දෙයක් මේ වගේම හොඳින් කරන්න. අපිත් එක්ක වගේම හොඳින් ඉන්න කවදා හරි ඔයාට හරි යනවා සිකුරුයි.
ජය වේවා...!!!

Thursday, March 29, 2012

බල්ලෝ කයිද ෆ්‍රයිඩ් රයිස්


මේක මගේ යාලුවෙක්ට උන වැඩක්. පොර ඉන්නේ මරදගහමුල පැත්තේ. පොරට තියෙනවා හාල් මෝලක්. ඇත්තටම කියනවනම් පොරට නෙමෙයි පොරගේ තාත්තට තියෙන්නේ.  මූට‍ ඉස්සර කොල්ලෝ කියන්නේ, මූට තියෙන්නේ ගල් මෝලක්ලු. මුන් ඒ ගල් අස්සට හාල් දාල පැකට් කරලා විකුනනවලු. එච්චරට ගල් මුන්ගේ හාල් වල. 
දැන් කතාව ඒක නෙමෙයි. දවසක් අපේ කොල්ලා යාලුවෙක්ගෙ ගෙදර සෙට් වෙලා රෑ වෙලා ගෙදර එනවා. වත්තට ඇතුල් වෙලා ගේ ගාවටම එනකොට කොල්ලට කබා පාරක් (කබා = කබරයා, ඒ කිව්වත් තේරෙන්නේ නැති එකෙක් ඉන්නවනම් දන්න කෙනෙක්ගෙන් අහගනිල්ලා) යන්න ආවා. මුකුත් හිතන්න පතන්න කාලයක් තිබුනේ නැහැ කොල්ලා දැම්ම කබා පාර බො...ක් ගාලා පාපිස්ස උඩම. මොනවා කරන්නද උන දේ දැන් උනා. කොල්ලා හිතාගත්තා උදේම නැගිටලා ඕක අස්කරලා දානවා, දැන් ගිහින් නිදාගන්නවා කියලා. (මොකද ඔය කාලේ ඉතින් ගෙදරට හොරෙන් බොන කාලෙනේ.) මුගේ කාමරේට එලියෙන්ම යන්න පුළුවන් නිසා මූ හීන් සැරේ ගිහින් නිදා ගත්තා. ඔන්න දැන් කොල්ල එලාර්ම් එකත් සෙට් කරලා උදේම නැගිටලා අවා කබා ටික අස් කරලා දාන්න. මාර කෙස් එක, කබා ටික නැහැ. කොල්ල අන්ද මන්ද වෙලා වට පිට බලද්දී වැඩේ තේරුනා. මුගේ ගෙදර ඉන්න බල්ලෝ දෙන්නා ඔක්කොම කබා ටික කාලා. ඇයි ඉතින් ඔක්කොම තියෙන්නේ කලින් දවසේ බයිට් එකට කාපු මස්, ඉස්සෝ, දැල්ලෝ වගේ ඒවානේ. පාපිස්සේ හෝදන්න දෙයකුත් නැති නිසා කොල්ලා ගිහින ආයේ නිදා ගත්තා. 
ටික දවසකට පස්සේ ආයේ ඔය වගේම දවසක් අපේ පොර සෙට් වෙලා එහෙම ගෙදර ඇවිත් ඇඳේ ඉන්නකොට කබා යන්න ආවා. කාමරේ දාන්න තැනකුත් නැහැ. බාත් රූම් එකට ගියොත් ගෙදරට මාට්ටු. දැන් මොකද කරන්නේ? කොල්ලට පහල උනා ගණ දෙවි නුවණ. හිමීට කාමරෙන් එලියට බැහැලා දැම්ම කබා පාර පාපිස්සට. ඇයි පොතේ හැටියට බල්ලෝ ටික වැඩේ දෙන්න එපැයි. පොර ඉතින් ආතල් එකේ දවල් වෙනකන් නිදාගෙන ඇහැරිලා ගියා බලන්න පාපිස්ස. මාර වැඩේ..  කබා විතරක් නෙමෙයි පාපිස්සත් නැහැ. වට පිට බලනකොට දැක්ක අම්ම එනවා පාපිස්සත් අරගෙන, හෝදලා වේලෙන්න දාන්න. 
අම්මා අහනවා කොල්ලගෙන් "මොකාද මේ පාපිස්සේ වමනේ කරේ?" 
කොල්ලට තේරුනා වැඩේ හරි කියලා. මොනවා හරි කියන්නත් එපැයි මූ කියපි "ආහ් ඔය අපේ බල්ලෝ දෙන්නගෙන් එකෙක් දාන්න ඇති, මම දැක්ක කලින් දවසකුත් දාල තියෙනවා.." කියලා.
අම්මා ටිකක් වෙලා සද්ද නැතුව ඉඳලා කියනවා...
"හ්ම්ම්.. බල්ලෙක් තමයි දාන්න ඇත්තේ.. හැබැයි ඌ ඊයේ රෑට කාල තියෙන්නේ ෆ්‍රයිඩ් රයිස්, බීල තියෙන්නේ අරක්කු.. මම මේ තාත්ත එනකන් ඉන්නේ ඕකව අල්ලාගෙන දෙකක් ඇනලා ගෙදරින් එළවලා දාන්න."

අවවාදයයි : බීමත්කමින් බල්ලාත් නිවසත් දෙකම අහිමි විය හැකිය. 

පිවිසුම



මම මුලින්ම සිංහල බ්ලොග් එකක් කියල හරියට කියවපු බ්ලොග් එක තමයි අන්තිම පේලිය. එතනින් පටන් ගත්තට පස්සේ තවත් බ්ලොග් කිහිපයක්ම කියවන්න පුරුදු උනා. විශේෂයෙන්ම අන්තිම පේලියේ ලියන අයගේ පුද්ගලික බ්ලොග්. ඔහොම අනුන්ගේ බ්ලොග් කියව කියව ඉන්න අතරේ මටත් හිතුනා මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න. මම අහපු දැකපු කතා අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න. හැබැයි මට අන්තර්ජාලයේ සැරිසරන්න වැඩියෙන්ම අවස්තාව ලැබෙන්නේ ඔෆිස් එකේදී තමයි. ඉතින් ඒ අතරතුරේදී මට පුළු පුළුවන් වෙලාවට කතා ලියලා දාන්න තමයි මගේ අදහස. ඔෆිස් එකෙත් ඉතින් වෙන කරන්න කියලා මහා ලොකු වැඩක් මට නැහැ. :D 
ඔන්න එහෙනම් අද ඉඳන් පටන් ගන්නවා SAMගේ පිස්සු කතා.