Friday, June 8, 2012

හචීස් හුචීස් හලාල්

මම කලින් වැඩ කරපු තැන ඉන්නවා මරු ඩයල් එකක්. මිනිහගේ නම... අපි ඇත්ත නම නොකියා මිනිහට කියමු හලාල් කියලා. මිනිහට කොහොමත් නම අන්තිමට හලාල් කියන කෑල්ල දාල තමයි කට්ටිය කතා කරන්නේ. මිනිහා මුස්ලිම් තමයි කොහොමත්. මිනිහා කරපු වැඩ ගොඩක් මතක් වීගෙන වීගෙන එනවා දැන්. බලමු කොහොම හරි ගලපලා ලියාගන්න.
මම කලින් වැඩ කරේ අන්තර්ජාල සේවා සපයන (Internet service provider) ISP ආයතනයක. මම හිටපු ඩිපාර්ට්මන්ට් එකට අයිති වැඩේ තමයි පැය
විසි හතර පුරාවටම, කස්ටමර්ස්ලට ඇතිවෙන තාක්ෂණික ගැටළු (Technical Issues) වලට උදව් කරන එක. ඉතින් අපිට වැඩ කරන්න තිබුනේ ශිෆ්ට් ක්‍රමයට. ඔය හලාල් කියන හාදයත් අපේ ඩිපාර්ට්මන්ට් එකෙමයි වැඩ කරේ.

ඒ දවස් වල රජය මැදිහත් වෙලා ව්‍යාපෘතියක් කරා නැණසල කියලා පිට පලාත්වල ඉන්න ළමයිට තොරතුරු තාක්ෂනය ඉගෙනගන්න මධ්‍යස්ථාන හදලා දෙන. ඔය හැම නැණසළකටම ඉන්ටර්නෙට් දීල තිබුනේ අපි. අනිත් එක තමයි ගොඩක් නැණසලවල් පිහිටලා තිබුනේ පන්සල් ආශ්‍රිතව. ඉතින් ඒවායේ කන්ටැක්ට් පර්සන් විදියට බොහෝවිට සිස්ටම් එකේ නම සටහන් වෙලා තිබුනේ ඒ පන්සලේම ඉන්න හාමුදුරු නමකගේ. එහෙම නොවෙන ඒවත් තිබුනා. දවසක් ඔය නැණසලක ප්‍රශ්නයකට එහෙට කතාකරන්න බාර උනේ අපේ හලාල්ට. මිනිහා ගත්තා කෝල් එක. අරන් කියනවා.. "අවසරයි සඳරුවන් හාමුදුරුවනේ මම මේ කතා කරන්නේ අහවල් ආයතනයෙන් හලාල්, සඳරුවන් හාමුදුරුවන්ට පුලුවන්ද ඔතන තියෙන රවුටර් එක පොඩ්ඩක් රී-බූට් කරන්න." අපිට පැලෙන්න හිනා. සිස්ටම් එකේ ඇඩ්රස් එක පන්සලක් උන නිසා මිනිහා හිතලා තියෙන්නේ කන්ටැක්ට් නේම් එකේ තියන සඳරුවන් කියන්නේ හාමුදුරු කෙනෙකුට කියලා. මට හිතාගන්න බැහැ ඒ වෙලේ සඳරුවන්ගේ මූණ කොහොම තියෙන්න ඇද්ද කියලා.


මිනිහගේ තව සීන් එකක් තියෙනවා කතා කරන්න ගත්තම පටන්ගත්තේ කොහෙන්ද කියලා මිනිහටම අමතක වෙනවා. තව දවසක් ඔය වගේම කස්ටමර් කෙනෙක් එක්ක අපේ හලාල් ෆෝන් එකෙන් කතාව. ට්‍රබල්ශූට් කරන හැටි කස්ටමර්ට කියල දෙන්න උත්සහ කරනවා. විනාඩි විස්සකට වඩා ෆෝන් එකේ එල්ලිලා ට්‍රයි කරත් වැඩේ හරියන්නේ නැහැ. මූ කියන එක කස්ටට තේරෙන්නේ නැහැ. කස්ටා කියන එක මූට තේරෙන්නේ නැහැ. අපිටත් අහන් ඉඳලා ඇති වෙලා තිබ්බේ. මුගේ මූණත් අඬන්න වගේ හොඳටම කලබල වෙලා. මූ අන්තිමට බැරිමතැන කස්ටට කියනවා "මහත්මයා දැන් ඔයත් කලබල වෙලා ඉන්නේ, මාත් කලබල වෙලා ඉන්නේ, අපි මේක මුල ඉඳන් පටන්ගමුද?"...


තවත් දවසක් මිනිහගේ අතින් සර්වර් රූම් (server room) එකේ බ්රෙකර්ස් වගයක් off වෙලා මිනිහා ඇත්තටම අඬලා තියෙනවා. එකනම් කිව්වේ එතනම හිටපු මගේ යාලුවෙක්. ඒ වෙලේ හලාල්ට පපුවේ අමාරුවකුත් අල්ලලා බයට. හැබැයි මගේ යාලුවානම් කිව්වේ පපුවේ අමාරුව ගත්තේ බැනුම් අහන්න වෙයි කියලා තියෙන බයටලු. හැබැයි ඇත්ත වෙන්නැති. මිනිහගේ ඔය වගේ අණ්ඩපාල වැඩ ගොඩක් තිබුනා. හලාල්ගේ ආච්චි හය පාරක් මැරිලා තියෙනවා. සීයා හතර පාරක් මැරිලා තියෙනවා (නිවාඩු ගන්න). නංගිලා හතර දෙනෙක් බැඳලා තියෙනවා. ඉස්සරහටත් නිවාඩු ගන්න වටපිටාව හදාගන්න ඕන නිසා මිනිහා නිතරම තාමත් කියනවා නංගිලා හතර දෙනාව බන්දලා දෙන්න තියෙනවා කියලා.


අපේ නයිට් ශිෆ්ට් එකේ ඉන්නේ දෙන්නයි. කට්ටිය කැමතිම නැහැ මූත් එක්ක නයිට් කරන්න. ඒකට එක හේතුවක් මොකක් හරි හදිස්සි අවස්ථාවකදී මූ කලබල
වෙලා වැඩේ අනන එක. අනිත් එක මුගේ කියවිල්ල අහන් ඉන්න බැරි එක.  මුගේ කියවිල්ල කිව්වම මතක් උනේ.. අපිට රිපෝර්ට් කරන්න තිබුන බොසාගේ නම ලගාන්ත (මනක්කල්පිතයි). මූ වැරදිලාවත් ලගාන්තට කෝල් එකක් ගත්තොත් ඒ කතාබහේ සීයට හැටකට වඩා තියෙන වචනේ තමයි "මිස්ට ලගාන්ත."  දවසක් අපි ගණන් කරා, විනාඩියේ කෝල් ඒකට "මිස්ට ලගාන්ත" කියන යෙදුම තිබුනා දහඅට පාරක්. උදාහරණයක් විදියට කියනවානම් "මිස්ට ලගාන්ත, මම හලාල් මිස්ට ලගාන්ත, කැන්ඩි නොඩ් එක මිස්ට ලගාන්ත උදේ ඉඳන් මිස්ට ලගාන්ත ඩවුන් මිස්ට ලගාන්ත. අපි මිස්ට ලගාන්ත, කස්ටමර්ස්ලාට මිස්ට ලගාන්ත කෝල් කරා මිස්ට ලගාන්ත. මිස්ට ලගාන්තට ඉන්ෆොර්ම් කරන්නයි මිස්ට ලගාන්ත මම මේ කෝල් කරේ මිස්ට ලගාන්ත." ඌ අපිට කතා කරන්නෙත් "මචන් මචන් මචන් සෑම්, මාර වැඩේනේ වෙලාතියෙන්නේ මචන් මචන් මචන්" ඔය වගේ....

හලාල්ගේ වැඩේ නයිට් ශිෆ්ට් එක පුරාවටම වැල බලන එකයි. ඌ ඒකට තොර ගන්නේ "පුසා"ගේ කොම්පීටරේ. අපි ඇහැරිලා ඉන්නකොට ඌට නිදහසේ බලාගන්න අමාරුයිනේ එක නිසා උගේ ට්‍රික් එක තමයි අපිව නිදිමත කරන එක. "අද හරි නිදිමත දවසක් නේද", "අද රෑට ටිකක් වැඩිපුර කැවුනා මචන් මාර නිදිමතක් තියෙන්නේ", "මචන් සෑම් උඹ අද කලින් නිදාගනින් අද ඩේ ශිෆ්ට් එකත් කරලා මහන්සි ඇතිනේ" වගේ එක එක කතා කියලා අපිව නිදි කරවනවා. ඊට පස්සේ උගේ අහවල් එක පුසාගේ කී බෝර්ඩ් ඒකට තද කර කර වැල බලනවා. ඊට පස්සේ විනාඩි විස්සක් විතර ටොයිලට් ඒකට වෙලා ඉඳලා එනවා. අනේ අර අසරණ පුසා ඔය මුකුත් දන්නේ නැහැ උදේට ඇවිත් කීබෝර්ඩ් එක හොඳට අත ගගා වැඩ.


මට මේ මතක් උන ටික. තව ගොඩක් තියෙනවා උගේ වැඩ කිඩ...

Tuesday, May 15, 2012

ගංගාරාමේ වෙසක් අසිරිය මම දැකපු හැටි.

දැන්නම් වෙසක් ඉවරයි. ඇත්තටම දැන් වෙසක් බලන්න යන එකත් කම්මැලි හිතෙන වැඩක්. එපාම වෙන වැඩේ තමයි වාහන තද බදේ. ඉස්සරනම් ඉතින් කොල්ලෝ සෙට් එකත් එක්ක එලියට බැස්සම ඕන මගුලක්. එත් දැන් ඉතින් එහෙම බැහැනේ. ඔය කම්මැලිකම හින්දම වෙනදට කරනවා වගේ මුළු කොළඹම කවර් කරේ නැහැ. ගංගාරාමේ පැත්තේ විතරක් කැරකිලා ගෙදර ආවා. ගෝල්ෆේස් යන්න හැදුවත් කාර් එක පාර්ක් කරගන්න බැරි උන නිසා ගෙදර ගියා.
ගෝල්ෆේස් කිව්වම කලින් පාරක වෙසක් බලන්න ඇවිත් උන වැඩක් මතක් උනා. එක කියන්නම් වෙන පොස්ට් එකකින්.
දැනට මම මේ ෆොටෝස් ටික පෙන්නන්නම්. මේ ගංගාරාමේ අවට ලස්සන මගේ පුංචි කැමරාවේ සටහන් උන හැටි.

බලන්න අපි හැමදෙනාම හුඟක් වෙලාවට අප්‍රිය කරන බේරේ වැව අවට තියෙන ලස්සන. 
 
ලොකුවට බලන්න ඕනානම් ෆොටෝ එකට ක්ලික් කරන්න.

ඔබා මාමේ...

ඔබා අපෙන් සමු අරන්. සමුඅරන් නෙමෙයි කියන්නෙම නැතුව යන්න ගිහින්. බ්ලොග් ලෝකයේ ගොඩක් දෙනාව අඬවලා ඔබා මාමා යන්න ගිහින්.
මට මගේ දුක කියාගන්න වචන ගලපගන්න තේරෙන්නේ නැති උනත් ඔබා මාමා වෙනුවෙන් මේ විදියට පුංචි සටහනක්වත්
තිබ්බේ නැත්නම් මම ගුණමකුවෙක්. 

ගියාට කමක් නැහැ ඔබා මාමේ ඉක්මනටම අපි අතරට එන්න.
ඔයා එනකන් අපි ඔක්කොම බලන් ඉන්නවා.

Monday, April 30, 2012

IPL සහ මාලිංග

කාලෙකින් මුකුත්ම ලියාගන්න බැරි උනා. අපේ ඔපීසියේ අලුත් ප්‍රොජෙක්ට් වගයක් (කාටවත් මෙලෝ රහක් නැති වැඩ තමයි) ගිය නිසා පට්ටම බිසී උනා.

කොහොම හරි මේ දවස් වල නැගලා යන IPL වලට සම්බන්ධ දෙයක් ලියන්න මට හිතුනා. IPL කියන්නේ සල්ලි උල්පතක් කියලා හැමෝම දන්නවනේ. මට ඇහිලා තියෙන විදියට එක තරඟ වාරයකදී ක්‍රීඩකයෙක්ට ගෙවන මුදල දෙවැනි වෙන්නේ ඇමෙරිකන් පැසි පන්දු (basket ball) ක්‍රීඩකයෙක්ට ගෙවන මුදලට පමණයි. ඉතින් එංගලන්තය ඔස්ට්‍රේලියාව වගේ රටවල් වල ක්‍රිකටර්ස්ලා වගේ මුදල් උපයන්නේ නැති අපේ රටවල වගේ ක්‍රිකර්ටර්ස්ලාට මේක මහඟු අවස්තාවක්. අවරුදු තුනකට වරක් තියෙන වෙන්දේසියෙන් ඉහල මිලකට අලෙවි වන්න වගේම වෙන්දේසියට නම යෝජනා වෙන්නත් ඉතා දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්න ඕනා. මේ දක්ෂතාවන්ගෙන් පිරුණ, ඒ වගේම ඉහල මිලකට වෙන්දේසි උන, T20 තරඟ වලට නැතුවම බැරි ක්‍රීඩකයෙක් ලෙසට විචාරකයෝ හදුන්වන ක්‍රීඩකයෙක් තමයි ලසිත් මාලිංග කියන්නේ.
ලසිත් මාලිංග කියන්නේ ක්‍රිකට් ලෝකයේ එදා මෙදා තුර හිටපු, ඉන්න, ක්‍රීඩකයන්ගෙන් මම ආසම කරන ක්‍රීඩකයන් කිහිපදෙනා අතර හිටපු ක්‍රීඩකයෙක්. මට මාලිංග කියන ක්‍රීඩකයා ගැන මුලින්ම අප්‍රසාදයක් ඇති උනේ 2011 ලෝක කුසලානයෙන් පස්සේ ටෙස්ට් තරඟ වලින් ඉවත් වෙන්න තීරණයක් ගත්ත වෙලාවේ. මාලිංග එකට හේතුව විදියට කිව්වේ දවස් පහේ තරඟ වලට එක දිගට ක්‍රීඩා කරපුවාම තමන්ට නිතරම ඇති වෙන ආබාද තත්වයන් තවත් වැඩි වෙයි කියලා. ඒක නිසා T20 තරඟ වලටයි එක්දින තරඟ වලටයි තමන්ගේ උපරිමය දෙන්න බැරි වෙන නිසා තමයි මේ තීරණය ගන්නේ කියලා. සමහරුනම් කිව්වේ මාලිංග එහෙම තීරණයක් ගත්තේ IPL ගහන්න බැරි වෙයි කියන බයට කියලයි. මටත් එහෙම හිතුනත් අපි යාළුවන් අතර ඇති වෙන ක්‍රිකට් සංවාද වලදී මම හැම වෙලේම මාලින්ගව සාධාරනීකරණය කළා. ඒ යාළුවො ඉස්සරහම මගේ කට වැහිලා මූණ ඇකිලිලා යන නිවුස් එකක් මට ලඟදි ඇහුනා. "මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරයි" ඒ නිවුස් ඒක ඇහුන දවසට පස්සේ දා මාලිංග මීඩියා කොන්ෆරන්ස් එකක් තියලා කිව්වා "ඔව් මම ක්‍රිකට් ගහන්නේ සල්ලි වලට තමයි, මට ශ්‍රී ලංකා ක්‍රිකට් ගෙවන මුදල මදියි කියලා" ඔන්න ඉතින් මගේ ක්‍රිකට් ලෝකයේ වීරයෙක් වෙලා හිටිය මාලිංග අධමයෙක් ගානට මට පෙන්න ගත්තා. එහෙම මාලින්ගව පෙන්නන්න බැරි උනේ මට විතරක් නෙමෙයි කියලා කතා බහ කරද්දී මට තේරුනා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ කැමතිම කණ්ඩායමක් වෙලා තිබුන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමත් ගොඩක් දෙනෙක්ට දැන් එපා වෙලා (එකටනම් හර්භාජාන් සින්ග් කැප්ටන් උන එකත් හේතුවක්). හුඟ දෙනෙක් කියන්නේ අන්තිම අව්රුද්දෙ විතර මාලින්ගගෙන් අපේ ක්‍රිකට් කණ්ඩායමට ලොකු දෙයක් කොහොමටත් උනේ නැහැ කියලයි.
මේ විදියට සල්ලි නිසා විශේෂයෙන්ම IPL සල්ලි නිසා තමන්ගේ රටට ද්‍රෝහී උන පලවෙනි ක්‍රීඩකයා මාලිංග නෙමෙයි. වෙස්ට් ඉන්ඩීන්ස් ටීම් එකේ ගොඩක් ක්‍රීඩකයෝ ඉන්නවා මේ වැඩේට නම් දරාපු.
මාලිංග ප්‍රමුක බොහෝ ක්‍රීඩකයෝ IPL වලදී තරම් උනන්දුවෙන් කැපවීමෙන් ක්‍රීඩා කරන්නේ නැති බව ක්‍රිකට් බලන ඕන කෙනෙක්ට තේරෙනවා. ඕනෑම කෙනෙක් සල්ලි වලට ආසයි. තමන්ට දැන් ලැබෙනවාට වඩා කීයක් හරි වැඩියෙන් උපයාගන්න තමයි හැමෝම හදන්නේ. එත් ඒ වෙනුවෙන් තමන්ගේ මුල අමතක කරන ඒක හරිද? තමන්ගේ රට අමතක කරන ඒක හරිද? තමන් මහා වීර ක්‍රියාවක් කරා වගේ පුරසාරම් දොඩවන ඒක හරිද?
IPL එන්නේ අව්රුද්දකට ඒක පාරයි. IPL එකට තේරෙන්න, වැඩි මිලකට වෙන්දේසි වෙන්න; දක්ෂතා පෙන්නන්න වෙන්නේ තමන්ගේ රටට ක්‍රිකට් ගහල. තමාගේ ෆිට්නස් ලෙවල් ඒක පෆොර්මන්ස් කන්සිස්ටන්සි ඒක පවත්වා ගන්න පුළුවන් වෙන්නේ තමාගේ රටට ක්‍රිකට් ගහලා. එංගලන්තේ කවුන්ටි ක්‍රිකටුත් හොඳ අවස්තාවක් උනත් ටෙස්ට් ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැති කෙනෙක්ට මේක ඉතාම අමාරු වැඩක් කියලයි මට හිතෙන්නේ. මේ වගේ දේවල් නිසා මට පේන්නේ මාලිංග ලඟා වෙන්න තමාගේ ක්‍රිකට් වල අවසානයට කියලා.
 

මාලිංග ඔබට ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ සුභපැතුම්...!!!

Saturday, March 31, 2012

මෙහෙමත් ගොයියලා...

මම මේ බ්ලොග් එක පටන්ගත්තේ මගේ ඔලුවට එන පිස්සු කතා අනිත් අයට පෙන්නන්නමත් නෙමෙයි. මට හිතෙන ඒවා කොහේ හරි කමක් නැහැ ලියලා තියන්නත් එක්කයි. ඉතින් මේ සටහන වැඩියක්ම තියන්නේ ඔය දෙවනියට කියපු අරමුණෙන්.
ඊයේ මගේ ඔෆිස් එකේ අපිත් එක්ක එකට වැඩ කරපු යෙහෙලියක් අස් වෙලා ගියා. තව ජොබ් එකක් හොයාගන්නෙත් නැතුව තමයි අයින් උනේ. එහෙම එක පාරටම අස් වෙලා යන්න හේතුව උනේ මොකක්ද? එයානම් කිව්වේ ගෙදරට වෙලා අම්මව බලාගෙන ඉන්න ඕනා, ඒ අතරේ teaching (ගුරු වෘතිය) වගේ රැකියාවක් ලැබුනොත් යනවා නිවාඩු තියෙන නිසා කියලා. එත් ඇත්තම හේතුව ඒකද? අපි ඔක්කොම දන්නවා ඇත්තම හේතුව එක නෙමෙයි කියලා. ඇත්තම හේතුව පොඩි පොඩි හේතු ගොඩක් එකතු වෙලා හැදිච්ච සංකීර්ණ එකක්. එත් අපිට මතුපිටින් පේන කරුණු අරගෙන සරලව මෙහෙම කියන්න පුළුවන්.
අපේ ඔෆිස් එකේ ව්‍යූහය හැදිලා තියෙන විදියට අයිතිකාරයෝ මෙතනට කෙලින් ඇඟිලි ගහන්නේ නැහැ. අපේ මැනේජින් ඩිරෙක්ටර් (MD) තමයි ඉහලට කරුණු දක්වන්නේ. එයාට පහලින් ඉන්නවා ජෙනරාල් මැනේජර් (GM) කෙනෙක්. මෙන්නේ මේ GM හාදයාගේ බුද්ධිමත් භාවය, උතුංග දේහධාරී දැනුම, සහ පරිකල්පන මෙව්වා එක ගැන කියලා වැඩක් නැහැ. කොටින්ම කිව්වොත් මෙයා ගොන් රජෙක්. මෙයා ගැන විස්තරාත්මක පොස්ට් එකක් පස්සේ දාන්නම්. මේ GM හාදයා තමයි අර අයින් උන ළමයව වැඩට ගත්තේ. එයා බලාපොරොත්තු උනා එයාගේ කේලාම් බලකාය මේ ළමයාට කියලා තවත් ශක්තිමත් කරගන්න. එත් එක කරගන්න බැරි උනා. ඒ ළමයා වැදගත් ගැහැණු ළමයෙක් වගේ තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන ගියා. අන්න එතකොට ඒ ළමයව කැපෙන්න ගත්තා. ඒ වගේම ඔය GMට ගොට්ට අල්ලන HR මැනේජර් වරියට වඩා අර ළමයාගේ අධ්‍යාපන සුදුසුකම් වැඩියි. ඒ නිසා ඒ පැත්තෙනුත් කැපිල්ල ආවා. ඒ සුදුසුකම් තිබිලත් අපේ යෙහෙළියට දීලා තිබුනේ පහල මට්ටමේ designation (රැකියා නාමය) එකක්. ඒ ළමයාගෙන් හොඳට වැඩ ගත්තා. කිසිම හේතුවක් නැතුව රෑ වෙනකන් ගෙදර යන්න දුන්නේ නැහැ. එක පාරක් අපි මැනේජ්මන්ට් එකට නොකියා නිවාඩු දවසක ට්‍රිප් එකක් ගියා. (එහෙම නොකියා ගියේ කියන්න ගියානම් ඕකටත් බකට් එකක් පෙරලනවා) එකටත් ඒ ළමයව අල්ලාගෙන පලු යන්න බැන්නා. ඔන්න ඕවා නිසා කලකිරුන අපේ යෙහෙළිය ඊයේ අපේ ආයතනයෙන් අයින් උනා. එයාට මොනවාහරි අරන් දෙන්න සල්ලි එකතු කරන්න අපේ තවත් යෙහෙලියක් GM ගාවටයි HR මැනේජර් වරිය ගාවටයි ගියා. දෙන්නාගේම උත්තරේ උනේ "ඔය එක එකාට දෙන්න අපේ ගාව සල්ලි නැහැ" කියන එකයි. අපි අපිට පුළුවන් විදියට සල්ලි එකතු කරලා සුළු තෑග්ගක් අරන් දුන්නා.
මගේ ප්‍රශ්න මෙන්න මේවා. මොන තරහා තිබ්බත් මනුස්සයෙක්ට ඔච්චර කුරිරු වෙන්න පුලුවන්ද? උසස් තනතුරු දරන අය විදියට ඔච්චර පහත මට්ටමකට වැටෙන්න පුලුවන්ද?
හැබැයි මෙයාලා කරන අනිත් වැඩ දිහා බැලුවම කෙනෙක්ට හිතෙයි මේ හිඟන්නොද කියලා. (හිඟන්නන්ට අපහාසයක් කරන්න නෙමෙයි එහෙම කිව්වේ) චූටි දරුවෙක්ටත් මෝඩ වැඩ කියලා තේරෙන දේවල් මෙයාලා ලොකුවට උඩ දාගෙන කරද්දී ටොප් මැනේජ්මන්ට් (Top Management ) එක සද්ද නැතුව ඉන්නේ ඇයි? කව්රු හරි ගාව මේවට උත්තර තියෙනවද?
සල්ලි මිටි ගණන් යටි මඩි ගහන හැටි, අවංකව වැඩ කරන අයව පීඩාවට පත් කරන හැටි, බත් ඇටේ ඉඳන් orange juice එක දක්වා අයුතු ලෙස බුක්ති විඳින හැටි දැකලා දැකලා අපිට දැන් අප්පිරියා වෙලා ඉන්නේ. 
මේවායෙන් ගැලවෙන්න ක්‍රමයක්, අපිට අපේ පාඩුවේ වැඩ කරගෙන ඉන්න පුළුවන් ක්‍රමයක් කව්රුහරි දන්නවද?

අන්තිමට
අපේ යෙහෙළියට කියන්න තියෙන්නේ ඉස්සරහටත් කරන දෙයක් මේ වගේම හොඳින් කරන්න. අපිත් එක්ක වගේම හොඳින් ඉන්න කවදා හරි ඔයාට හරි යනවා සිකුරුයි.
ජය වේවා...!!!

Thursday, March 29, 2012

බල්ලෝ කයිද ෆ්‍රයිඩ් රයිස්


මේක මගේ යාලුවෙක්ට උන වැඩක්. පොර ඉන්නේ මරදගහමුල පැත්තේ. පොරට තියෙනවා හාල් මෝලක්. ඇත්තටම කියනවනම් පොරට නෙමෙයි පොරගේ තාත්තට තියෙන්නේ.  මූට‍ ඉස්සර කොල්ලෝ කියන්නේ, මූට තියෙන්නේ ගල් මෝලක්ලු. මුන් ඒ ගල් අස්සට හාල් දාල පැකට් කරලා විකුනනවලු. එච්චරට ගල් මුන්ගේ හාල් වල. 
දැන් කතාව ඒක නෙමෙයි. දවසක් අපේ කොල්ලා යාලුවෙක්ගෙ ගෙදර සෙට් වෙලා රෑ වෙලා ගෙදර එනවා. වත්තට ඇතුල් වෙලා ගේ ගාවටම එනකොට කොල්ලට කබා පාරක් (කබා = කබරයා, ඒ කිව්වත් තේරෙන්නේ නැති එකෙක් ඉන්නවනම් දන්න කෙනෙක්ගෙන් අහගනිල්ලා) යන්න ආවා. මුකුත් හිතන්න පතන්න කාලයක් තිබුනේ නැහැ කොල්ලා දැම්ම කබා පාර බො...ක් ගාලා පාපිස්ස උඩම. මොනවා කරන්නද උන දේ දැන් උනා. කොල්ලා හිතාගත්තා උදේම නැගිටලා ඕක අස්කරලා දානවා, දැන් ගිහින් නිදාගන්නවා කියලා. (මොකද ඔය කාලේ ඉතින් ගෙදරට හොරෙන් බොන කාලෙනේ.) මුගේ කාමරේට එලියෙන්ම යන්න පුළුවන් නිසා මූ හීන් සැරේ ගිහින් නිදා ගත්තා. ඔන්න දැන් කොල්ල එලාර්ම් එකත් සෙට් කරලා උදේම නැගිටලා අවා කබා ටික අස් කරලා දාන්න. මාර කෙස් එක, කබා ටික නැහැ. කොල්ල අන්ද මන්ද වෙලා වට පිට බලද්දී වැඩේ තේරුනා. මුගේ ගෙදර ඉන්න බල්ලෝ දෙන්නා ඔක්කොම කබා ටික කාලා. ඇයි ඉතින් ඔක්කොම තියෙන්නේ කලින් දවසේ බයිට් එකට කාපු මස්, ඉස්සෝ, දැල්ලෝ වගේ ඒවානේ. පාපිස්සේ හෝදන්න දෙයකුත් නැති නිසා කොල්ලා ගිහින ආයේ නිදා ගත්තා. 
ටික දවසකට පස්සේ ආයේ ඔය වගේම දවසක් අපේ පොර සෙට් වෙලා එහෙම ගෙදර ඇවිත් ඇඳේ ඉන්නකොට කබා යන්න ආවා. කාමරේ දාන්න තැනකුත් නැහැ. බාත් රූම් එකට ගියොත් ගෙදරට මාට්ටු. දැන් මොකද කරන්නේ? කොල්ලට පහල උනා ගණ දෙවි නුවණ. හිමීට කාමරෙන් එලියට බැහැලා දැම්ම කබා පාර පාපිස්සට. ඇයි පොතේ හැටියට බල්ලෝ ටික වැඩේ දෙන්න එපැයි. පොර ඉතින් ආතල් එකේ දවල් වෙනකන් නිදාගෙන ඇහැරිලා ගියා බලන්න පාපිස්ස. මාර වැඩේ..  කබා විතරක් නෙමෙයි පාපිස්සත් නැහැ. වට පිට බලනකොට දැක්ක අම්ම එනවා පාපිස්සත් අරගෙන, හෝදලා වේලෙන්න දාන්න. 
අම්මා අහනවා කොල්ලගෙන් "මොකාද මේ පාපිස්සේ වමනේ කරේ?" 
කොල්ලට තේරුනා වැඩේ හරි කියලා. මොනවා හරි කියන්නත් එපැයි මූ කියපි "ආහ් ඔය අපේ බල්ලෝ දෙන්නගෙන් එකෙක් දාන්න ඇති, මම දැක්ක කලින් දවසකුත් දාල තියෙනවා.." කියලා.
අම්මා ටිකක් වෙලා සද්ද නැතුව ඉඳලා කියනවා...
"හ්ම්ම්.. බල්ලෙක් තමයි දාන්න ඇත්තේ.. හැබැයි ඌ ඊයේ රෑට කාල තියෙන්නේ ෆ්‍රයිඩ් රයිස්, බීල තියෙන්නේ අරක්කු.. මම මේ තාත්ත එනකන් ඉන්නේ ඕකව අල්ලාගෙන දෙකක් ඇනලා ගෙදරින් එළවලා දාන්න."

අවවාදයයි : බීමත්කමින් බල්ලාත් නිවසත් දෙකම අහිමි විය හැකිය. 

පිවිසුම



මම මුලින්ම සිංහල බ්ලොග් එකක් කියල හරියට කියවපු බ්ලොග් එක තමයි අන්තිම පේලිය. එතනින් පටන් ගත්තට පස්සේ තවත් බ්ලොග් කිහිපයක්ම කියවන්න පුරුදු උනා. විශේෂයෙන්ම අන්තිම පේලියේ ලියන අයගේ පුද්ගලික බ්ලොග්. ඔහොම අනුන්ගේ බ්ලොග් කියව කියව ඉන්න අතරේ මටත් හිතුනා මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න. මම අහපු දැකපු කතා අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න. හැබැයි මට අන්තර්ජාලයේ සැරිසරන්න වැඩියෙන්ම අවස්තාව ලැබෙන්නේ ඔෆිස් එකේදී තමයි. ඉතින් ඒ අතරතුරේදී මට පුළු පුළුවන් වෙලාවට කතා ලියලා දාන්න තමයි මගේ අදහස. ඔෆිස් එකෙත් ඉතින් වෙන කරන්න කියලා මහා ලොකු වැඩක් මට නැහැ. :D 
ඔන්න එහෙනම් අද ඉඳන් පටන් ගන්නවා SAMගේ පිස්සු කතා.